My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Tuesday, April 24, 2012


දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්‌?


"වීරත්වය" මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත් ඉතිහාසය තුළ ප්‍රබලත්වයක්‌ හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි. ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක්‌ වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකු වුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක්‌ ඔස්‌සේ දීර්ඝතම ගමනක්‌ යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අප වන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණ පමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක්‌ දුරට ගමන් කිරීමේ වගකීම ද අප සතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්‌සේ පියමන් කිරීමේදී හමුවන ප්‍රබලතම සංධිස්‌ථානයක්‌ ලෙස ක්‍රි.පූ. 161-137 යන කාලපරාසය හැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසය පරිච්ඡේද ගණනාවක්‌ පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම යුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු 24 ක පරිපූර්ණ රාජ්‍ය කාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක්‌ ක්‍රි.පූ. 161-137 කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.