ශ්‍රී ලංකාවේ අතීත ලෝහ තාක්‌ෂණය පිළිබඳව විමසීමේ දී සේරුවිල තඹ නිධිය වටිනා ඉතිහාසයක් මෙන්ම විද්‍යාත්මක දත්ත රැසක් සපයයි. මෙමගින් ශ්‍රී ලංකාවේ මූල ඵෙතිහාසික ජන කොටස් ක්‍රි.පූ. 6 වැනි සියවසට පෙර මේ තඹ නිධිය භාවිතයට ගත් බැව් කරුණු පැහැදිලි කරයි. මහාවංශ කරුණුවලට අනුව ද ගැමුණු රාජ යුගයේ දී අනුරාධපුරයට නැඟෙනහිර දෙසින් පිහිටි තම්බපිට්‌ට ගම් පියසෙන් ඛනිජ සම්පත් ලැබුණු බව සඳහන් වෙයි.
සේරුවිල තඹ නිධිය
කොළඹින් කිලෝමීටර් 275ක් පමණ දුරින් ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයට අයත් සේරුවිල ගම් පියසේ මේ තඹ නිධිය පිහිටා ඇත. එසේ නම් මහාවංශයේ සඳහන් අන්දමට අනුරාධපුරයට නැඟෙනහිරින් පිහිටි තම්බපිට්‌ට ගම් පියසට මේ තඹ නිධිය අයත් ද? එදා තම්බපිට්‌ට අද සේරුවිල වූවා ද?
මෑත යුගයේ මේ තඹ නිධිය පිළිබඳව තොරතුරු සොයාගනු ලැබුවේ වර්ෂ 1971 දී එවකට භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් වත්මන් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යංශය විසිනි. මේ පර්යේෂණවලට අනුව මේ ප්‍රදේශයේ තිබෙන ආගාධවලින් මැග්නටයිට් අඩංගු පස් හමු වී ඇත. මෙයින් පැහැදිලි වන කරුණක් නම් ශ්‍රී ලංකාවේ ආදි වැසියන් ලෝහ නිස්‌සාරණ තාක්‌ෂණය පිළිබඳව නිසි අවබෝධයක් ලබා තිබුණු බවයි.
සේරුවිල ප්‍රදේශයෙන් හමුවූ යබොර
මේ තඹ නිධිය පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා තඹ නිධිය පිහිටි ප්‍රදේශය ප්‍රධාන කලාප තුනකට බෙදා ඇත. පළමු කලාපය සී කලාපය (Block C) ලෙස නම් කර ඇත. දෙවැනි කලාපයට අරිප්පු (Arrippu) ප්‍රදේශයත්, තුන්වැනි කලාපයට කෝලන්කුලම (Kolankulam) ප්‍රදේශයත් අයත් ය. මේ කලාප තුනට අයත් වන ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 250ක් පමණ වේ. මේ විශාලත්වයෙන් වර්ග කිලෝමීටර් 100ක වැනි ප්‍රදේශයක් පර්යේෂණය සඳහා තෝරා සිදුරු විදීම් 76ක් සිදු කෙරිණි. මේ සිදුරු 76 ම ගැඹුරෙහි එකතුව මීටර් 8410ක් පමණ වෙයි. පරීක්‍ෂාවට ලක් කළේ මේ සිදුරුවලින් ලබාගත් නියෑදි ය.
මේ නියෑදි පරික්‍ෂාවට ලක් කිරීමෙන් පසු පෙනී ගියේ අරිප්පු ප්‍රදේශයෙන් ලබාගත් නියෑදිවල සියයට 1.06ක ප්‍රතිශතයක් තඹ ද, සියයට 41.4ක ප්‍රතිශතයක් ද්‍රාව්‍ය යකඩ (Soluble Iron) ද මීටර් 200ක් පමණ ගැඹුරට විහිදී ඇති බව ය. එහෙත් Block C හා කෝලන්කුලම ප්‍රදේශයෙන් ලබාගත් නියෑදිවලින් පෙනී ගියේ ඉතා අඩු තඹ ප්‍රතිශතයක් ඇති බවකි.
අරිප්පු ප්‍රදේශයෙන් ලබාගත් නියෑදි තව දුරටත් පර්යේෂණයට ලක් කිරීමෙන් පොස්‌පේට් හෙවත් ඇපටයිට් සියයට 25ක පමණ ප්‍රතිශතයක් අඩංගු වන බැව් අනාවරණය විය. මේ හැරුණු කොට කැල්සයිට්, සයිඩරයිට්, මැලචයිට්, ඇසුරයිට් යන බනිජවල කාබනේටද විවිධ කාල පරාසවලට අයත් මැග්නටයිට් හෙවත් යකඩ බනිජයේ ඔක්‌සයිඩ ද, පයිරයිට්, කියුබනයිට්, බොර්නයිට්, චැලිකොපයිරයිට් යන ඛනිජවල සල්පයිඩ වර්ග ද, තඹ ඛනිජයේ අයඩයිට් හැරුණු කොට කැරෝලයිට්, පෙන්ට්‌ලන්චයිට්, මිලරයිට්, මැකිනවයිට්, නිකල් ඛනිජ, තුත්තනාගම්, රිදී ටෙරුලියම්, ස්‌වාභාවික රත්රන් වැනි ඛනිජ සංයෝග ද අඩංගු බැව් පෙනී ගොස් ඇත. තුත්තනාගම් කොටස් මිලියනයකට කැඩ්මියම් කොටස් 50-100ත් අතර වන බැව් ද හඳුනා ගැනීමට හැකි විය.
කෙසේ වෙතත් අද අපට අපේ ම කියා ලෝහ තාක්‌ෂණයක් දක්‌නට නැති තරම් ය. කෙසේ නමුත් අනුන් ගේ තාක්‌ෂණ ක්‍රමවේද අපේ යෑයි කියා හුවා දක්‌වන පිරිසක් සිටින අතර ම ඈත දුෂ්කර ගම්මානවල අපේ ම තාක්‍ෂණ ක්‍රමවේද භාවිත කරමින් ලෝහ කර්මාන්තයේ යෙදෙන්නන් ද තවමත් සිටින බැව් කිව යුතු ය.
සේරුවිල ප්‍රදේශයෙන් හමු වන යබොර විශ්ලේෂණය කිරීමෙන් තඹ හා යකඩ කිසියම් අනුපාතයකට අනුව මිශ්‍ර කළ බවක් දක්‌නට ලැබේ. මේ අනුපාත, සාදන ලද ලෝහ භාණ්‌ඩවල ස්‌වභාවය අනුව ද වෙනස් වන්නට ඇත. ගැමුණු රාජ සමයේ රුවන්වැලි සෑය ඉදි කිරීම සඳහා සේරුවිල තඹ නිධියෙන් තඹ ප්‍රයෝජනයට ගත්තේ ද, ඒ කවර ආකාරයට, කවර අනුපාතයකට ද යන්න අප්‍රකට ය. ඒ ගැන ද සෙවිය යුතු ය. අනුරාධපුර යුගයේ කළ ලෝකඩ නිෂ්පාදනයට අවශ්‍ය අවශේෂ මූලද්‍රව්‍ය වන ටින් හා ඊයම් විදෙස් රටවලින් ගෙන්වීමේ දී භාවිත කළ වෙළෙඳ ගනුදෙනු කෙසේ සිදු වී ද යන්න ද සොයා බැලිය යුතු ය. මෙවන් උත්සාහයකට මූලික අධිතාලමක් දමමින් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය අර්ජුන තන්තිලගේ, ආචාර්ය රන්ජිත් බණ්‌ඩාර දිසානායක සහ පුරාවිද්‍යා පර්යේෂක ඉන්දික විතානගේ යන විද්වතුන් විසින් මේ වන විටත් වැදගත් සොයාගැනීම් කිහිපයක් සිදු කරනු ලැබ තිබේ.
අපේ පැරැණි ලෝහ හමු වන්නේ පූර්ව ඵෙතිහාසික යුගවලින්. මෙහි දී පෙනී යන දෙයක් තමයි, අතීතයේ දී තඹ භාවිතය බහුලව සිදු කෙරුණු බව. ඉන්පසුවයි යකඩ භාවිතය සිදු වන්නේ. ලෝකයේ ලෝහ පවතින ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි ඛනිජ විදියට. මේවා නිස්‌සාරණය කිරීමෙන් ලෝහ වෙන් කරගත යුතු වෙනවා. සමහර ලෝහ වර්ග සුළු ප්‍රමාණයක් පිරිසිදු ලෝහ වශයෙන් ම තිබෙනවා. නිදසුනක් ලෙස රත්රන්, ප්ලැටිනම් වැනි ලෝහ පෙන්වා දෙන්න පුළුවන්. ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ මේ ලෝහ හමු වූ ආකාරයෙන් ම භාවිත කර ඇති බවයි. ලෝහ භාවිතය සඳහා විශේෂ තාක්‌ෂණ ක්‍රමවේදයක් භාවිත කර තිබුණේ නැහැ. සමහර අවස්‌ථාවල දී භෞතික ස්‌වභාවයේ එනම් හැඩයේ වෙනසක් සිදු කරන්න ඇති. ලෝහ නිස්‌සාරණ ක්‍රම සොයා ගැනීමත් සමග ලෝහ තාක්‌ෂණ බිහි වුණා කියා කියන්න පුළුවන්. මෙහි දී අපට පෙනී යන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ තඹ ලෝහය භාවිතයට අරගෙන අවුරුදු 5000කට පමණ කාලයකට පසුව යකඩ භාවිතය සිදු වී තිබෙන බව. ශ්‍රී ලංකාවේ ඉපැරැණි ලෝහ හමු වන්නේ ඉපැරැණි සුසාන භූමිවලින්. තවමත් මේ පිළිබඳව අධ්‍යයනයක් කරල නැහැ. මේ සියලු ම කරුණුවලින් පෙනී යන්නේ අපේ සංස්‌කෘතිය යකඩ තාක්‌ෂණයත් සමග ගමන් කළ බවයි.
රටක තාක්‌ෂණය පිළිබඳව හා නිර්මාණ කලාව පිළිබඳව මැනැවින් පිළිබිඹු කරන කැඩපතක් වන්නේ ඒ ඒ රටවල ඉපැරැණි මූර්ති හෙවත් පිළිම (Statues) බැව් විද්වතුන් අතර පිළිගැනීමක් ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ විමසීමේ දී ලෝහමය බුදු පිළිම නිර්මාණය හා එම නිර්මාණ තුළ අන්තර්ගත කලාව යම් පමණකට හෝ ඉතිහාසයක් හෙළිදරව් කිරීමට සමත් වෙයි. ඉපැරැණි බුදු පිළිමවලින් අතීතය හෙළිදරව් කරගන්නා ආකාරය පිළිබඳව ආචාර්ය අර්ජුන තන්තිලගේ අදහස් දැක්‌වූයේ මේ අයුරිනි.
ලෝහවලින් කරවූ බුදු පිළිමවලින් කාලය නිර්ණය කිරීමේ දී ආකාර දෙකක් අනුගමනය කරනවා. එකක් පෙනෙන ආකාරය (Visual style). අනෙක තාක්‌ෂණ ආකාරය (Technological style). පෙනෙන ආකාරයට බුදු පිළිමයේ නිර්මාණ කලාව ඇතුළත් වෙනවා. ඒ ඒ පිළිමවල තිබෙන නිර්මාණ කලාව අනුව කවර යුගයකට අයත් ද යන්න දැනගත හැකියි. ඒ අනුව ඒ ඒ පිළිමවල වයස නිර්ණය කළ හැකියි. මේ අනුව ශ්‍රී ලංකාවේ බුදු පිළිම අනුරාධපුර, පොළොන්නරුව හා මහනුවර යන යුග තුනට අයත් වෙනවා.
මෙයින් දෙවැනුව කී තාක්‌ෂණික ආකාරය ඉතා ම වැදගත් වෙනවා. මා අධ්‍යයනය කළේ තාක්‌ෂණික ආකාරය පිළිබඳවයි. මේ පිළිමවල ලෝහ සංයුතිය පිළිබඳව විමසීමේ දී පෙනී යන දෙයක් වන්නේ ලෝහ සංයුතිය හිතාමතා ම වෙනස් කර තිබෙන බවයි. නිදසුනක් ලෙස අපි මෙහෙම ගනිමු. ලෝකඩ නිෂ්පාදනයේ දී තඹ, ඊයම්, හා ටින් ලෝහය භාවිත කරනවා. මේවා කිසියම් අනුපාතයකට අනුවයි මිශ්‍ර කරන්නේ. මේ අනුපාතය ලෝහ කර්මාන්තකරුවන්ට අනුවත් ගුරු කුල අනුවත් වගේ ම ඒ ඒ කාලවල පැවතුණු තාක්‌ෂණ ක්‍රමවේද අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ඉන්දියානු බලපෑම් අනුවත් වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා ලෝහ තාක්‌ෂණය පිළිබඳව කරන අධ්‍යයනයේ දී මේ කරුණු ගැන වඩාත් විමසිලිමත් විය යුතුයි.
මේ කරුණු හැරුණු කොට අපිට ලෝහවල ස්‌වභාව පිළිබඳව අධ්‍යයන කිරීමට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය (Trace elements) ඉතා ම වැදගත් වෙනවා. අපි මෙහෙම හිතමු. පිළිමයක් සෑදීමට ප්‍රධාන මූලද්‍රව්‍ය එකතු කරන විට අපි නොදැනුවත්ව ම ඒ පිළිමයේ ලෝහ සමග අංශු මාත්‍ර මූලද්‍රව්‍ය එකතු වෙනවා. නිදසුනක් ලෙස සේරුවිල තඹ නිධිය ගනිමු. මේ නිධිය හටගැනීමේ දී තඹවලට අමතරව ඒ ප්‍රදේශයේ ලක්‌ෂණ අංශුමාත්‍ර වගයෙන් නිධියේ තැන්පත් වෙනවා. මේ නිධියෙන් ලබාගත් තඹවලින් පිළිමයක් හෝ වෙනත් භාණ්‌ඩයක් හෝ සෑදුවොත් තඹවලට අමතරව මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ද එහි තැන්පත් වෙනවා. එම නිසා මේ භාණ්‌ඩ පිළිබඳව කරන අධ්‍යයනයට ප්‍රධාන මූලද්‍රව්‍ය වගේ ම අංශු මාත්‍ර මූලද්‍රව්‍යයන් වැදගත් වෙනවා. ඒ, අංශු මාත්‍ර මූලද්‍රව්‍යවලින් නිධිය පිහිටි ප්‍රදේශයේ ස්‌වභාවය කුමක් ද යන්න හඳුනා ගන්න පුළුවන් නිසා. ඒ අනුව පිළිම සෑදීම සඳහා ප්‍රධාන ලෝහය ලබාගන්නේ කවර ප්‍රදේශයකින් ද, ඒ ප්‍රදේශයේ ස්‌වභාවය කෙබඳු ද යන්න සොයා ගැනීමට හැකි වෙනවා.
කාල නිර්ණය කරන අනෙක් ක්‍රමය තමයි ඊයම් සමස්‌ථානික ක්‍රමය. ලෝකයේ සැම තැනක ම වාගේ ස්‌වාභාවික ඊයම් තිබෙනවා. තඹ නිධියක් හැදෙන කොට මේ ස්‌වාභාවික ඊයම් අංශු මාත්‍ර වශයෙන් හෝ තඹ නිධියේ නැත්පත් වෙන්න පුළුවන්. මේ ඊයම් සමස්‌ථානිකවලින් අපේ ඇඟිලි සලකුණු වගේ කාලය නිවැරැදිව නිර්ණය කරන්න පුළුවන්. නිධියට අනුව තැන්පත් වන අංශුමාත්‍ර ඊයම් සමස්‌ථානික අනුපාත වෙනස් විය හැකියි. ඉතින් මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය හා ඊයම් සමස්‌ථානික පිළිබඳව අධ්‍යයනය කිරීම මඟින් ලෝහ නිධියක් පිළිබඳ වටිනා දේවල් සොයාගන්න පුළුවන්.
මා අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර යන යුග තුනට අයත් පිළිම වර්ග අරගෙන මේ විශ්ලේෂණ ක්‍රම දෙක ම සිදු කළා. මේ විශ්ලේෂණවලින් අනාවරණය කරගන්න ලැබුණු දෙයක් තමයි සේරුවිල තඹ නිධිය අනුරාධපුර යුගයේ දී මහා පරිමාණයෙන් ප්‍රයෝජනයට අරගෙන තිබෙන බව. ඒ වගේ ම මේ තඹ ප්‍රයෝජනයට අරගෙන ලෝකඩ නිපදවා තිබෙන බවත් අනාවරණය වුණා."
ලෝකඩ යනු මිශ්‍ර ලෝහයකි. ලෝකඩ නිපදවීමේ දී ප්‍රධාන මූලද්‍රව්‍යය වශයෙන් තඹ ගන්නා අතර එයට ටින් ලෝහය මිශ්‍ර කරයි. ලෝකඩ වර්ග කීපයකි. වානිජමය ලෝකඩ (Commercial bronze), වාස්‌තු විද්‍යාත්මක ලෝකඩ (Architectural bronze) යනුවෙන් ඒවා ප්‍රධාන වර්ග දෙකකට බෙදෙයි. බිස්‌මත් ලෝකඩ (Bismuth bronze), ඇලුමිනියම් ලෝකඩ (Aluminium
bronze) යනාදි වශයෙන් ලෝකඩ වර්ග නූතන ලෝකයේ දක්‌නට ලැබේ. වානිජමය ලෝකඩ නිපදවීමේ දී සියයට 90ක් තඹ භාවිත කරන අතර සියයට 10ක් තුත්තනාගම් භාවිත කරයි. වාස්‌තු විද්‍යාත්මක ලෝකඩ නිපදවීමේ දී සියයට 57ක් තඹ, සියයට 3ක් ඊයම් හා සියයට 40ක් තුත්තනාගම් භාවිත කරයි. නූතන ලෝහ විද්‍යාවට අනුව විවිධ ලෝකඩ වර්ග විවිධ කාර්යයන් සඳහා විවිධ අනුපාත අනුව නිපදවා ගනු ලැබුවත් ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ නිපදවූ ලෝකඩවල තඹවලට අමතරව ටින් හා ඊයම් අන්තර්ගත බැව් අනාවරණය වී ඇත. මේ සම්බන්ධව විශේෂ සොයාබැලීමක් කළ ආචාර්ය අර්ජුන තන්තිලගේ අදහස් දැක්‌වූයේ මේ අයුරිනි.
අනුරාධපුර යුගයේ දී වටිනා නිර්මාණ කිරීම සඳහා තඹ විශාල වශයෙන් භාවිත කළ බව පේනවා. වටිනාකමින් ඉහළ අගයක් ගන්නා වෙහෙරගල බුදු පිළිමය වැනි වස්‌තු විශ්ලේෂණය කරන කොට පෙනී යන දෙයක් තමයි ලෝකඩ නිපදවීමේ දී සේරුවිල තඹ නිධියෙන් තඹ භාවිත කළ බව. අංශු මාත්‍ර ද්‍රව්‍ය විශ්ලේෂණයෙනුත්, ඊයම් සමස්‌ථානික විශ්ලේෂණයෙනුත් ඒ බව විද්‍යාත්මකව ඔප්පු කළා. ඒත් ටින් හා ඊයම් කියන ලෝහ දෙක ලංකාවේ තිබුණේ නෑ. අදත් හමු වන්නේ නෑ. එසේ නම් ලෝකඩ හදන්න මේ ටින් හා ඊයම් යන ලෝහ වර්ග ගෙනාවේ කවර රටකින් ද යන්න සොයා බැලිය යුතු වෙනවා. ඊයම් සමස්‌ථානික ක්‍රමවේදයට අනුව පෙනී ගියේ ඊයම් අනුරාධපුර යුගයේ දී මධ්‍යධරණී ප්‍රදේශයෙන් ගෙන ආබවයි. ටින් ලෝහය පිළිබඳව දිගු විශ්ලේෂණයක් කරන්න ලැබුණේ නෑ. ඒත් මා සිතනවා ටින් ලෝහය මධ්‍යධරණි ප්‍රදේශයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වන්නට ඇතැයි කියා. කාල නිර්ණයේ දී පෙනී යන්නේ අනුරාධපුර මැද හා අවසාන යුගවල ලෝකඩ භාවිතය බහුලව සිදු කර තිබෙන බවයි. ඊට පෙර කාල සීමාවේ ලෝකඩ හමු වන්නේ නෑ.
ශ්‍රී ලංකාවේ ලෝහ නිෂ්පාදන අනුක්‍රමය පිළිබඳව විමසා බැලුවොත් අපිට පෙනී යනවා අනුරාධපුර යුගයේ මැද හා අවසාන කාලයේ දී ලෝකඩ නිපදවීමෙන් පසු අපි පිත්තල නිපදවා තිබෙනවා. මේ බව මහනුවර යුගයෙන් අනාවරණය වෙනවා. පිත්තල හදන්න තුත්තනාගම් අවශ්‍යයි. තුන්තනාගම් අපේ රටේ නෑ. ඒත් මට හමු වී තිබෙනවා තුත්තනාගම් සියයට 7ක ප්‍රතිශතයක් එකතු කරල හදපු අනුරාධපුර යුගයේ බුදු පිළිමයක්. අපිට පෙර ඉන්දියාව තුත්තනාගම් භාවිත කළා. එහෙනම් ඒ යුගයේ දී ඉන්දියාවෙන් තුත්තනාගම් ගෙන්වන්න ඇති. මෙහි දී පෙනී ගිය විශේෂ දෙයක් තමයි අනුරාධපුර යුගයෙන් පසු ලෝකඩ භාවිතය සම්පූර්ණයෙන් ම නවතිනවා. තුත්තනාගම් භාවිතය දක්‌නට ලැබෙන්නේ නුවර යුගයේ දීයි. නියම පිත්තල නිෂ්පාදනයක් දක්‌නට ලැබෙන්නේ නුවර යුගයේදියි. නුවර යුගයේ නිර්මාණවල පිත්තලවල ප්‍රතිශතය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයක් වෙනවා.
අනුරාධපුර යුගයෙන් පසු ලෝකඩ භාවිතය නැති වීමට හේතුව ටින් හා ඊයම් මෙරටට ගෙන්වීම නැවතීම බව සිතාගන්න පුළුවන්. මෙරටට මේ ලෝග ගෙන්වීම නැවතීමට හේතුව ඒ කාලයට අනුව රටවල් අතර පැවැති ආර්ථික හා දේශපාලනික අර්බුද විය හැකියි. මේ ගැනත් සෙවිය යුතුයි.
අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව
ශ්‍රී ලංකාවෙන් දැනට සොයාගෙන ඇති ලෝකඩ ප්‍රතිමා අතර වෙහෙරගලින් සොයාගත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව අති විශිෂ්ට නිර්මාණයකි. මෙය අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් ඇල්ලේවැව නම් ගම්පියසේ වෙහෙරගල සිරිසඟබෝ විහාර භූමියෙන් සොයාගන්නා ලද්දකි. වර්ෂ 1963 දී සොයාගත් මේ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ජාතික කෞතුකාගාරයේ පොදු ජනයා සඳහා ප්‍රදර්ශනයට තබා ඇත. සෙන්ටිමීටර් 49.8ක් පමණ උස, ලෝකඩවලින් නිමවන ලද මේ පිළිමයේ රන් ආලේප කර ඇත. ලෝහවලින් නිමවූ පිළිමවල කාලය නිර්ණය කිරිමේ දී භාවිත කරන පෙනෙන ආකාරය හෙවත් Visual Technology ක්‍රමවේදයට අනුව මේ බෝධිසත්ත්ව පිළිමය ක්‍රිස්‌තු වර්ෂ 9 වැනි සියවසට අයත් ය.
No comments:
Post a Comment